පහේ ශිෂ්‍යත්ව විභාගය අදයි

2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වීමට නියමිත වේ.

ඒ අනුව අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටීමටද නියමිතය.

ශිෂ්‍යත්ව විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දීමට නියමිත අතර එය 10.45 වන විට අවසන් වීමටද නියමිතව ඇත.

ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් හිමිවන අතර ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය 11.15ට ආරම්භ වේ.

එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පැයක කාලයක් ලබා දෙන අතර ඒ අනුව 12:15ට එම ප්‍රශ්න පත්‍රය අවසන් වේ.

ඒ අනුව 09 : 30ට ආරම්භ වන විභාගය පස්වරු  12:15ට අවසන් වීමටද නියමිතය.

මේ අතර ඊයේ ඊයේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ අද දිනයේදී ආරම්භ වන ශිෂ්‍යත්ව විභාගය අතරතුර යම් කිසි ආපදා තත්ත්වයක් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුවත් කළ හැකි බවත් ඒ වෙනුවෙන් වූ විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම උදෑසන 09:30ට ආරම්භ වීමට ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ශාලාව වෙත උදෑසන 08:30 වන විට සිය දරුවා රැගෙන එන ලෙසද ඇය දෙමාපියන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළාය.