හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේත් අදත් කොළඹ සහ ඒ අවට උන්වහන්සේ ගැවසෙන ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
ඒ අතර විහාරස්ථාන සහ නිවාස කිහිපයක්ද වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
ඒ කිසිදු තැනකට උන්වහන්සේ පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී නැති බැවින් රටින් පළායාමට නොහැකි වන ලෙස විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.
දකුණු පළාතේ විහාරස්ථාන කිහිපයක් සහ තට්ටු නිවාස සංකීර්ණ කිහිපයක පිහිටි නිවාස කිහිපයක උන්වහන්සේ සැඟව සිටීමට ඇති ඉඩකඩ වැඩි බැවින් ඒ තැන් ගැනද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මේ වන විට සිටින්නේ විමසිලිමත්වයි.
අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්නා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
පසුගිය කාලයේ යටගසා තිබුණු මෙම විමර්ශනය නැවත ආරම්භකර ඇත්තේ කොාළඹ අපරාධ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි පත්වීමත් සමගයි.
කොළඹ අපරාධ කොට්ඨාසය තුළ මෙවැනි ආකාරයේ අපරාධ විමර්ශන රැසක් යටගසා තිබී ඇති බවත් ඒ සෑම විමර්ශනයක්ම මේ වන විට ආරම්භකර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාස තොරතුරු අනාවරණය කරනවා.
ඇතැම් අපරාධ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ සම්බන්ධකම්ද අනාවරණය වෙමින් ඇති බවත් එසේ විවිධ අපරාධවලට සම්බන්ධ වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට පසුගිය කාලයේදී පොලිස් ස්ථානාධිපතිධුර ලැබී තිබෙන බවද සඳහන්.