කාන්තාවකට බස් රථයකදී පිහි ප්‍රහාරයක්

බණ්ඩාරවෙල බස් නැවතුම්පොලේ බස් රථයක වාඩිවී සිටි කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා තුවාල කිරීමේ සිදුවීමක් අද (09) උදෑසන 7ට පමණ වාර්තා වූ බව පොලිසිය පවසනවා.

බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ බස් රථයකදී මෙය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහල්ටත් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යවා තිබෙනවා.

මෙහිදී තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවෙල, ලියන්ගහවෙල පදිංචි කාන්තාවක්.

මෙම කාන්තාවගේ ගෙල කපා ඇත්තේ ඇගේ සැමියා බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම සැකකරු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් පවුල් ආරවුලක් මත වෙන වෙනම ජීවත්ව සිටි බව පැවසෙන අතර එකී ආරවුල ගැටුමට හේතු වී ඇති බවද අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.