ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ආයතන තුනකින් රුපියල් මිලියන 6.5ක දඩ මුදලක් අය කරගෙන තිබෙනවා. .
මෙම දඩ මුදල් අය කර ඇත්තේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව (National Savings Bank), බැලීස් ලිමිටඩ් (Bally’s Limited) සහ බෙලාජියෝ ලිමිටඩ් (Bellagio Limited) යන ආයතන තුනෙන්.
මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (Financial Transactions Reporting Act – FTRA) උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙම දඩ පනවා ඇති බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.
මෙම දඩ, අදාළ ආයතනවල නොසැලකිලිමත්කමේ ස්වභාවය සහ බරපතලකම සැලකිල්ලට ගනිමින් නියම කරන බවයි මහ බැංකුව සඳහන් කළේ.
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියාමන ආයතනය ලෙස FIU, අදාළ ආයතන මෙම නීතිරීතිවලට අනුකූලව කටයුතු කරවීම සඳහා මෙම දඩ මුදල් අය කරගෙන තිබෙනවා.
ඒ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවට 2025 අප්‍රේල් 16 වැනි දින මෙම දඩය පනවා ඇති අතර අනෙක් ආයතන දෙක සඳහා 2025 මාර්තු 28වැනිදා මෙම දඩ මුදල් පනවා ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවට රුපියල් 3,500,000 ක දඩ මුදලකුත් බැලීස් ලිමිටඩ් සහ බෙලාජියෝ ලිමිටඩ් වෙත රුපියල් 1,500,000ක දඩ මුදලක් හිමිව තිබෙනවා.