නඩු ගොනුවක පිටු ඉරූ නීතිඥවරයෙකුගේ කබාය ගලවයි

අභියාචනාධිකරණ නඩු ගොනුවක, පිටු අනීතික ලෙස ඉරා ඉවත් කිරීම තුළින් නීතීඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා.

අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී විසින් අදාල නීතිඥවරයාට එරෙහිව කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනි වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව ගොනු කෙරුණු චෝදනාවල සඳහන් වෙන්නේ මොහු අභියාචනාධිකරණයේ ලේඛනාගාරයට පිවිස නඩු ගොනුවක් ලබාගෙන අනීතික ලෙස එහි පිටු දෙකක් ඉරා ඉවත් කර ඇති බවටයි.

ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී ඩබ්ලිව්.එස්.බී.එස්.ප්‍රනාන්දු විසින් මරදාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාල නීතිඥවරයා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2023 වසරේ ජනවාරි මස 25 වනදා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබුණා.

කෙසේ වෙතත් මොහුගේ නීතිඥභාවය ඉවත් නොකිරීම සඳහා නිදහසට කරුණු දක්වන ලෙස දන්වා අධිකරණ සංවිධාන පනතේ 42(3) යටතේ චෝදනා පත්‍රයක් ගොනු කෙරුණු අතර ඔහු එම චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරු ලෙස පිළිගෙන බඳවා ගන්නේ කීර්තියක් ඇති සහ දක්ෂ මෙන්ම හැකියාවක් ඇති පුද්ගලයින් පමණක් බව මතක තබා ගත යුතු බවයි.

එවැනි නීතිඥවරුන්ට ලියාපදිංචි වූ පසු කිසිදු වංචාවක්, අක්‍රමිකතාවක්, අපරාධයක් හෝ වරදක් කළ නොහැකි අතර එය මහජනතාවගේ සහ රටේ යුක්තිය පසිඳලීමේ කටයුතුවලට සම්බන්ධවූවන්ගේ සාධාරණ අපේක්ෂාවක් බවත් අගවිනිසුරුවරයා ප්‍රකාශ කළා.

නීතිඥවරයෙකුට අපේක්ෂිත ප්‍රමිතිය පවත්වා ගැනීමට නොහැකි නම්, එවැනි නීතිඥවරයෙකුට තවදුරටත් එම තනතුරේ කටයුතු කිරීමට අවසර දිය නොහැකි බව ද ඔහු කියා සිටියා.

ඒ අනුව මෙම නියෝගය අනුව කටයුතු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි රෙජිස්ටාර්වරයා වෙත දැනුම්දී තිබෙනවා.