ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මේ වන විට අත්සන් 50 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
ඊට අත්සන් ලබා ගැනීමේ කටයුතු අද (06) ආරම්භ කෙරුණා.
ඔවුන් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම , පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට බාධාවක්ව ඇති බව පවසමින්.
විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී සියලුදෙනාගේම ඒකමතික තීරණයෙන් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කෙරුණා.
ඊට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, සර්ව ජන බලය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් සහභාගි වී තිබෙනවා.
ලබන සදුදා මෙම විශ්වාසභංග යෝජනාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත භාරදීමට නියමිත බවයි හිරු ප්‍රවාත්ති වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා කියා සිටියේ.