ලංකා සීනි සමාගම මඟින් බෙදා හැරීම් මෙහෙයවන තොග වෙළෙඳ මධ්‍යස්ථාන ජාලයක් රට පුරා දිස්ත්‍රික්ක 25 හි ඉදිරි මාසය තුළ දී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවැසීය.
පාරිභෝගික ජනතාවට සහනදායී මිලට සීනි ලබාදීමට මෙමඟින් අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.
උක් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යාංශ නිවේදන ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල උක් ගොවීන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ප්‍රමාද වීම නිසා අර්බුදකාරී වාතාවරණයක් ඇති වුණා. මෙම ආයතන එවැනි මූල්‍ය අර්බුදයකට පත් වීමට බලපෑ හේතු, අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවට පැහැදිලි කර ඇති නිසා ඒ පිළිබඳ යළි යළිත් මම කීමට අපේක්ෂා කරන්නේ නැහැ. අප වත්මන් ආණ්ඩුව පාලන බලය භාර ගන්නා විට අප හට ලැබුණු මෙම ආයතනයන් වන පැල්වත්තේ සේවකයන් 3,847ක් ද, සෙවනගල සේවකයන් 1,269ක් ද හිටියා. එමෙන්ම අප භාර ගන්නා විට ස්ථාවර ව්‍යවස්ථාපිත ගෙවීම් රුපියල් මිලියන 3,977ක් වුණා. ගොවීන්ට ගෙවිය යුතු ගෙවීම් රුපියල් මිලියන 609ක්, සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 510ක්, බැංකු ණය වෙනුවෙන් රුපියල් මිලියන 1,176ක් සහිතව මුළු අගය රුපියල් මිලියන 6,279ක් වගකීම් ලෙස තිබෙන ආයතනයක් තමයි අපි ලබා ගත්තේ. මීට අමතරව මෙට්‍රික් ටොන් 33,000ක පමණ නිෂ්පාදිත සීනි තොගයක් ද, ලීටර් ලක්ෂ 55ක පමණ එතනෝල් තොගයක් ද සමඟ මෙම ආයතනය භාර ගත්තා. 2025 පළමුවැනි මාස හය තුළ සියලු දුෂ්කරතා මැද අපි සීනි පැල්වත්තෙන් මෙට්‍රික්ටොන් 14,201ක් නිෂ්පාදනය කළා. මෙට්‍රික්ටොන් 8,468ක් අලෙවි කළා. ආදායම ලෙස රුපියල් මිලියන 1652ක් ලබා ගත්තා. සෙවනගලින් මෙට්‍රික්ටොන් 4045ක් අපි නිෂ්පාදනය කළා. මෙට්‍රික්ටොන් 4568ක් අලෙවි කළා. කලින් තිබූ තොගයත් එක්ක තමයි අලෙවි කළේ. ආදායම රුපියල් මිලියන 877ක් ලැබුවා. මේ ආයතන දෙකේ මාස හයේ එකතුව වන්නේ නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 18246 යි. මෙට්‍රික් ටොන් 13036ක් අලෙවි කළා. ආදායම රුපියල් මිලියන 2529ක් ලැබුවා. එතනෝල් පැල්වත්තෙන් ලීටර් 35 ලක්ෂයට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කළා. තිස්හය ලක්ෂයක් අලෙවි කළා. රුපියල් මිලියන 2125ක ආදායමක් ලැබුවා. සෙවනගලින් ලීටර් 904, 185ක් නිෂ්පාදනය කළා. ලීටර් ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් අලෙවි කළා. රුපියල් මිලියන 563ක ආදායමක් ලැබුවා. මේ වසරේ පළමු මාස හය තුළ එතනෝල් ලීටර් 4, 443, 094ක් නිෂ්පාදනය කළා. ලීටර් ලක්ෂ 48ක් අලෙවි කළා. ආදායම රුපියල් මිලියන 2688ක් ලැබුවා. දැනට විකිණීමට තිබෙන තොගයන් වන්නේ ජූලි 31 වන විට පැල්වත්ත, සෙවනගල දෙකේම සීනි මෙට්‍රික්ටොන් 27, 292ක්. එතනෝල් ලීටර් 857, 185ක්. මාස දෙකක ගෙවීම් ප්‍රමාදයක් වූ බව අපි පිළිගන්නවා. 2025 ජූලි 02 වැනිදා සිට අගෝස්තු 01 වැනිදා දක්වා මෙලෙස ගෙවීම් කළා. සීනි හා එතනෝල් විකුණුම් මිල ස්ථාවර කර ගනිමින් අවදානම් අවස්ථා පසුකරගෙන පහසු තත්ත්වයකට පැමිණ සිටිනවා. රුපියල් කෝටි 100ක් අපි වෙනුවෙන් වෙන් කර තිබෙනවා. රුපියල් මිලියන100 බැගින් අපේ ආයතනයට දැන් ලබාදෙනවා. එමඟින් ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට, උක් තවාන් වගා හෙක්ටයාර් ප්‍රමාණය වැඩි කිරීමට, විශේෂයෙන් අපේ එතනෝල්වල ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා අපි කටයුතු කරනවා. ලංකා සීනි සමාගම මඟින් බෙදා හැරීම් මෙහෙයවන තොග වෙළෙඳ මධ්‍යස්ථාන ජාලයක් ඉදිරි මාසයේ දිස්ත්‍රික් 25 තුළම ආරම්භ කර පාරිභෝගික ජනතාවට සහනදායී මිලට සීනි ලබාදීමටත් අපේක්ෂා කරනවා. විපක්ෂයේ විවිධ පිරිස් ගොවි ජනයා මෙහෙයවමින් පැල්වත්ත, සෙවනගල ආණ්ඩු විරෝධී මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට උත්සාහ කරමින් අපිව දිරිමත් කර තිබෙනවා. ඒ අනුව අපේ නාස්තිය අවම කරමින් මූල්‍ය අර්බුදය ජය ගැනීමට පියවර ගත්තා. ගොවීන්ගේ මිල දී ගැනීම් සිදු කරන අතර මෙවර කලින් වගාවට වඩා උක් ටොන් ලක්ෂයකට වැඩි අස්වැන්නක් අපේක්ෂා කරන අතර එය අපේ නිෂ්පාදන ආයතන හතරම බෙදා ගෙන සාමූහික මිල තීරණයක් මඟින් කළමනාකරණයක් අපේක්ෂා කරනවා. දැන් සියලු ගෙවීම් අවසන් කර ඇති නිසා විපක්ෂයට වෙනත් උද්ඝෝෂණ භූමියක් සොයා ගන්නා ලෙස ආරාධනා කරනවා.