ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07ක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීන්දු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම ද්විපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (04) මෙම නියෝගය නිකුත් කළේ, මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සම්බන්ධයෙන් දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබුණේ වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහ විනිවිද පෙරමුණ විසිනි. රටවල් දෙකක් අතර ඇති කර ගන්නා අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත්, මෙම පෙත්සම් පදනම් විරහිත බවටත් සඳහන් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා සහ පෙත්සම් සම්බන්ධව පක්‍ෂ සහ විපක්ෂව ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් ඉවත දමන ලදි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉන්දීය රජය සමඟ ශ්‍රී ලංකා රජය ඇතිකර ගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් 07ක් අභියෝගයට ලක් කර මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.
ඒ අතුරින් ගිවිසුම් දෙකක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ජාතික ආරක්ෂාව සහ ඉන්දීය ශ්‍රී ලංකා සබඳතාවලට අගතියක් සිදුවිය හැකි බව සඳහන් කරමින් එම තොරතුරු හෙළිකිරීම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු අනාවරණය නොකරන ලෙස ඉන්දීය රජය ඉල්ලීමක් කර ඇති නිසා අදාළ තොරතුරු හෙළිදරව් කළ නොහැකි බවට රජය විසින් ප්‍රකාශ කර ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යය මුළුමනින්ම උල්ලංඝනය වීමක් සිදුවන බව ජනාධිපති නීතිඥවරයා කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවද ඔහු සඳහන් කළේය.
මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙන්නේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයින් විසින් අතර විදේශීය රාජ්‍යයක් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුම්වත් කර ඊට අනුමැතිය ලබා ගත යුතු නමුත් මෙහිදී එවැන්නක් සිදු කර නැති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙවැනි කටයුතු සම්බන්ධයෙන් තම අභිමතය පරිදි කටයුතු කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති අතර මෙම ගිවිසුම් අත්සන් කිරීම නිසි නීතිමය පටිපාටියට පිටුපා සිදුකළ නීතිවිරෝධි ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඉන්දියාව සමඟ යහපත් සම්බන්ධතා පවත්වාගෙන යාම යහපත් වුවත් මෙවැනි ක්‍රියා නිසා පාකිස්තානය වැනි අසල්වැසි රාජ්‍යයන් සමඟ පවතින සබඳතාවලට අහිතකර ලෙස බලපෑ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර විනිවිද පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතාද එහිදී කරුණු ඉදිරිපත් කළේය.
මෙම ගිවිසුම්වල අන්තර්ගත කරුණු ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ඔහු අවධාරණය කළේය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළද එය ඉටු නොවූ බව ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙවැනි ගිවිසුම්වලට අත්සන් කර නැති නිසා එහි පිටපත් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා දැනුම්දුන් බවත් නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා එහිදී පෙත්සම් සම්බන්ධව මූලික විරෝධතා ඉදිරිපත් කළේය.
මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන කරුණු පදනම් විරහිත බව ඔහු අවධාරණය කළේය.
මෙවැනි ගිවිසුම්වලට එළැඹීමේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සාමාන්‍ය පටිපාටිය බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ම කැබිනට් මණ්ඩලය ද සමන්විත වන බව ද ඔවුන් මෙම ගිවිසුම් පිළිබඳව දැනුම්වත් වීමක් සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වන්නේ ආයෝජන සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයන් සමඟ ඇතිකර ගන්නා ගිවිසුම්, ද්විත්ව බදු ගිවිසුම් වන අතර මෙවැනි අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටියද ජනාධිපතිවරයාට ලැබෙන සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට නියමයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
යම් ගිවිසුමක් පිළිබඳ තොරතුරු දැනගනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට එය කැඳවීමට හැකියාව තිබෙන බවත් එහෙත් මෙහිදී එවැන්නක් සිදුවී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව අධිකරණයට මැදිහත්වීමට තරම් සාධාරණ නීතිමය පදනමක් මෙම පෙත්සම් තුළ අන්තර්ගතව නොමැති හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කළහ.
නෙල්කා මැදගෙදර