හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු පවුලේ අයට එරෙහි නඩුව යළි කැඳවීමට දින නියම කෙරේ

රුපියල් මිලියන 97කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 10 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසම විසින් ලේඛන කිහිපයක් විත්තියට ලබා දෙනු ලැබුවා.

එහිදී, විත්තිකරුවන් විසින් ඉල්ලා සිටින ලේඛන තිබේ නම් ඒවා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ආරම්භ වීමට පෙර ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසයි විනිසුරුවරිය විසින් අල්ලස් කොමිසමට නියම කර සිටියේ.

2020 අගෝස්තු 13 සහ 2024 ජුනි 24 අතර කාල සීමාව තුළ රුපියල් මිලියන 97 කට අධික ස්ථාවර තැන්පතු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු සහ වත්කම් යනාදිය අයථා ලෙස උපයා ගැනීම තුළින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.