ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංගයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සවස රැස් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු සාධාරණව සිදු කරගෙන යාම සඳහා අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරීම බාධාවක් බවත් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අරුණ ජයසේකර නැගෙනහිර පළාත් ආඥාපතිවරයා වශයෙන් කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් එම මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන්නා.

මීට අමතරව තවත් කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එය කෙටුම්පත් කිරීම පිළිබඳව හෙට (06) විපක්ෂයේ පක්ෂ නායකයින් සමග විපක්ෂ නායකවරයා සාකච්ඡා කිරීමට නියමිතයි.
මේ සඳහා විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේද ජනතා නියෝජිතයින්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවතයි එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.