ලංකා සීනි සමාගමට අයත් සෙවණගල සහ පැල්වත්ත කර්මාන්ත ණය බරින් මිරිකිලා. වහාම රජය මැදිහත්වී එම අර්බුදයෙන් ආයතන ගොඩගෙන සේවකයන්ගේ සහ ගොවීන්ගේ අනාගත සුරක්ෂිත කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා එසේ පැවසුවේ ඉකුත්දා (02)බුත්තල ශ්‍රී චන්ද්‍ර මදුරාරාමයේ පැවති උක් ගොවීන්ගේ සහ සේවකයන්ගේ හමුවක් අමතමිනි. එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
‘‘පැල්වත්ත සහ සෙවණගල ගොවීන්ට උක්ගස්වලට ගෙවිය යුතු මුදල් සහ උක් ගස් ප්‍රවාහනය කරන ලොරි රථවලට ගෙවිය යුතු මුදල් මාස ගණනකින් ගෙවා නැහැ. උක්ගස් භාර ගැනීම සීමා කරලා.මේ තත්ත්වය මත සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා වැසී යෑමේ තත්ත්වයකට පත් වෙලා. අප කිසිසේත් මේ ආයතන දෙක වැසී යන තෙක් බලා සිටින්නේ නෑ. මේ ආයතන සුරැකීමට පියවර ගන්නා ලෙස රජයට සහ විෂය භාර ඇමැතිවරයාට අපි බල කර සිටිනවා. ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ ආරම්භ කළ මේ කර්මාන්ත ශාලාවලින් දහස් සංඛ්‍යාත පවුල් ජීවත් වෙනවා. හය දහසකට අධික පිරිසක් මෙහි සේවය කරනවා. ඊට අමතරව විශාල පිරිසක් කම්කරුවන් ලෙස සේවය කරනවා.
පැල්වත්ත සහ සෙවණගල සීනි ආයතනවල ණය බර ගෙවා ඒවා ගොඩ ගැනීමට පියවර ගන්න. ගොවීන්ට සහ සේවකයන් කිසිම අයකුට අසාධාරණයක් වීමට අපි ඉඩ තියන්නේ නැහැ. කිසිම හේතුවක් නිසා ආයතන වසා දැමුවොත් ඊට එරෙහිව පෙරමුණ ගන්නවා. ගොවීන් සහ සේවකයන්ගේ යුතුකම ආයතනය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කිරීමයි. ඒ සඳහා එකමුතුව වැඩ කරන්න යැයි කීවේය.
ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක