සංචාරක ආදායම ගැන ඇමතිද හරි… මහ බැංකුවද හරි?

නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලේදී පසුගිය 02වැනිදා නව භාවනා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකදී සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ 2025 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බවයි.

එමෙන්ම, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වසරේ ඉදිරි මාස 06 සඳහාද සමාන ආදායම් ඉලක්කයක් අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දත්ත, මෙම ප්‍රකාශය සමඟ නොගැළපෙන බවයි මහ බැංකු නවතම වාර්තාවට අනුව පෙනීයනු ලබන්නේ.

මහ බැංකුවේ නවතම වාර්තාවට අනුව, 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.71ක් වන අතර, එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.56) 10%ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.

එහිදී අමාත්‍යවරයාගේ ප්‍රකාශය සහ මහ බැංකු දත්ත අතර ඇති පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් පමණ වනු ඇති.

කෙසේ නමුත් 2025 වර්ෂයේ පළමු මාස 06 තුලදී මෙරටට විදේශ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2024 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වූ එ.ජ. ඩොලර් බිලියන 3.1ට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 3.7ක් වූ බවත්, එය 18.9%ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් බවත් එම වාර්තාවේම සඳහන්ව තිබෙනවා.

අදාල තොරතුරු ඇතුලත් මහ බැංකු දත්ත වාර්තාව පහතින්,