Number Portability සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර

දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability – NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මේ වන විට දුරකථන ක්‍රියාකරන සමාගම් සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

2021 වසරේදී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ සඳහා ලබාගෙන ඇති අතර පසුව විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කළා. දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම පිණිස සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් Lanka Number Portability Services (Guarantee) Limited නමින් සමාගමක් ස්ථාපනය කර ඇති බවද සඳහන්.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය මෙම සමාගම වෙත ප්‍රදානය කර ඇති අතර, දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකථන ක්‍රියාකරන සමාගම්වල ජාල වැඩි දියුණු කිරීම අවසන් වූ පසු දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.