රියදුරු බලපත් ප්‍රමාදය අගොස්තු 15වැනිදායින් පසු ඉවරයි

මෙතෙක් නිකුත් කිරීමට නොහැකිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය තුළ ගොඩ ගැසී ඇති රියැදුරු බලපත්‍ර ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් අගෝස්තු මස පහළොස්වන දිනෙන් පසුව නිකුත් කිරීමට හැකිවන බවත් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල 2026 ජනවාරි මස සිට මාර්ග ගත ක්‍රමයට කටයුතු කිරීම ආරම්භ කිරීම තුළින් දැනට ඇනහිට ඇති එක්දින සේවාව නැවතත් ආරම්භ කිරීමට හැකිවන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා කියයි.

රිය බලපත් නිකුත් කිරීමට අවශ්‍ය කාඩ්පත් ලක්‍ෂ අටක ඇනවුමක් සැප්තැම්බර් මස 05 වන දිනවන විටත්, කාඩ්පත් මුද්‍රණය කිරීමට ඇනවුම් කල අති නවීන යන්ත්‍ර දෙක අගොස්තු මස 15 වන දින වන විටත් ලැබීමට නියමිත බැවින් මෙම ඉලක්ක සපුරා ගත හැකි බව තමන් විශ්වාස කරන බවද ප්‍රවාහන කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ කුරුණෑගල දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා මෙසේද පැවසීය.

“කාලයක් තිස්සෙ තිබුනු රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා බලපත්‍ර ලක්‍ෂ දහයක (10 000 00) පමණ ප්‍රමාණයක් අපිට නිකුත් කර ගැනීමට නොහැකි වූ තත්ත්වයක් උද්ගත වෙලා තිබුණා. නමුත් අපි ක්‍රමානුකූලව ඒ තත්ත්වය තුලනය කරමින් ආවත් ඒ අතරතුර නැවත නැවතත් කාඩ්පත් 3500කට ආසන්න ප්‍රමාණයක් දිනපතා මේ ගොඩට එකතුවීම නිසා අපිට මේ ගැටළුව ප්‍රමාණවත් ආකාරයෙන් තුළනයකට ගැනීමට අපහසු තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේකට තවත් එක් හේතුවක් වෙලා තියෙන්නෙ අපේ ප්‍රාදේශීය කාර්යාල විසිපහක් දිවයින පුරා පිහිටා තිබුනත් එයින් දහයක් පමණයි මාර්ග ගත ක්‍රමයට කටයුතු කරන්නේ. ඉතිරි කාර්‍යාල 15ම සාමාන්‍ය ක්‍රමයට කටයුතු කරන නිසාත් මේවා ක්ෂණිකව එකිනෙක සම්බන්ධ කර ගැනීමේ ගැටලුකාරී තත්ත්වත්වයක් තියෙන්නේ, ඒ නිසාත් මේ බලපත්‍ර නිකුත්කිරීමට යම් කාලයක් ගත වෙනවා.

ඊළඟ කාරණය තමයි බලපත්‍රය නිකුත් කිරීම සඳහා අවශ්‍ය කාඩ් පත් ආනයනය කිරීමටත් යම් කාලයක් ගතවෙනව. ඒ අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මේ වන විට කාඩ්පත් ලක්ෂ අටක් (8 000 00) මිලදී ගැනීම සඳහා සැපයම් කරුවකු අපි තෝරාගෙන තියෙනවා. එම ඇණවුම සැප්තැම්බර් මස 05 වෙනි දින වන විට අපිට ලැබීමට නියමිතයි. ඒ අනුව මේ වන විට නිකුත් කිරීමට සුදානම් කොට තිබෙන රියදුබලපත්‍ර තුන් දහසකට ( 3 000) ආසන්න ප්‍රමනයක් අපිට නිකුත් කිරීමේ හැකියාව ලැබේවි. ඒ වෙනුවෙන්ම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ඉහළ තාක්ෂණයෙන් යුතු මුද්‍රණයන්ත්‍ර දෙකක් ඇනවුම් කරලා තිබෙනවා. ඒ යන්ත්‍ර දෙකත් මේ මස (අගෝ) 15 වන දින වන විට අපිට ලැබීමට නියමිතයි. එම යන්ත්‍ර දෙකත් අපිට ලැබුණහම මේ ගොඩ ගැසී තිබෙන රියැදුරු බලපත්‍ර සියල්ල නිකුත් කරල නැවතත් එක්දින සේවාව පහසුවෙන්ම ආරම්භ කිරීමට හැකි වෙනවා. ඒ සඳහා දැනට සාමාන්‍ය ක්‍රමයට ක්‍රියාත්මක කරන අපේ ප්‍රාදේශීය කාර්යාල පහළවත් ඇතුළුව ප්‍රාදේශීය කාර්යාල විසිපහම මාර්ගගත ක්‍රමයට කටයුතු කිරීමේ ක්‍රියාවලිය ලබන ජනවාරි වන විට ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. මේ සියල්ල සම්පූර්ණ වූ විට ආසන්න වශයෙන් ලබන ජනවාරි මාසයේදී අපට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව් ක්‍රියාත්මක කිරීමට හැකිවෙතැයි විශ්වාස කරනවා.

මීට අමතරව පැරැණි රියැදුරු බරපත්‍ර ලක්‍ෂ විස්සක් (20 000 00) පමණ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය කටයුතු කරන බවට රාවයක් පැතිර යනවා මේ කටකතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. අපි එහෙම කිසිම තීන්දුවක් අරගෙන නෑ. කෙසේ වුවත් ඒ පැරණි බලපත්‍ර නැවත යාවත්කාලීන කළ යුතුයි. ඒ සඳහා අපි කිසියම් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. අදාල ක්‍රමය ක්‍රියාත්මක වන තෙක් එම බලපත්‍ර මෝටර් රථ ධාවනය සඳහා වලංගු බව අදාළ අංශ දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා එම බලපත්‍ර ලාභීන් කිසිවෙකු කිසිදු බියක් ඇතිකරගත යුතු නැහැ. “