අධිකරණ ගබඩාවේ තිබුණු මත්පැන් තොගයක් පල් වතුර හා තේ කහට බවට පත්වීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂක වාර්තා කැඳවේ

පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග අනුව විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී අද (01) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු විදේශීය මත්පැන් බෝතල් 81 ක් සහ බියර් බෝතල් 150 ක් මෙසේ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට නියෝග කරනු ලැබුවා.

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අදාළ මත්පැන් තොගය විනාශ කරන ලෙසට පසුගිය පෙබරවාරි 17 දින නියෝග කර තිබුණු අතර, එම මත්පැන් තොගය විනාශ කිරීමේදී ඒවා සැබෑ මත්පැන් නොවන බවට මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

ඉන් අනතුරුව බෝතල්වලට යළි මුද්‍රා තබා අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කරන ලෙසට නියෝග කරනු ලැබූ අතර, මත්පැන් තොගය පල් වතුර හා තේ වතුර බවට පත්කළේ කළේ කවුරුන්ද යන්න ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.