අගමැතිනිය යාපනයේ සංචාරයක

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුර⁣ගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ අද (02) පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියා ය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,

”පවතින අධ්‍යාපන ක්‍රමය තුළ පළමු වසරට ඇතුළත් වන දරුවෙක් පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ අනාගතය ගැන විශ්වාසයකින් හෝ සතුටකින් නෙමෙයි. දරුවන්ට මිත්‍රශීලි පාසල් පරිසරයක්, ඉගැන්වීම් ක්‍රමයක් ඇති කළ යුතුයි. පාසල තුළින් වෙද්‍යවරු, ඉංජිනේරුවරු වගේම ව්‍යවසායකයින්, කලාකරුවන්, වෘත්තීය නිපුණතාවය සහිත සියලු වෘත්තීකයන් පාසල තුළින් බිහි විය යුතුයි.  

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී එක පළාතක්, දිස්ත්‍රික්කයක් හෝ කළාපයක් පමණක් නොවෙයි, සෑම පාළාතක්ම, දිස්ත්‍රික්කයක්ම, කලාපයක්ම වැදගත්. සමානාත්මතාවය ආරම්භ වන්නේ එතනින්. අපේ රටේ සියලුම දරුවන්ට සමාන අවස්ථාව ලබා දීමට අපට අවශ්‍ය නම්,  සියලු සම්පත් එක් කලාපයකට, එක් දිස්ත්‍රික්කයකට යෙදවිය නොහැකියි. එය සාධාරණ ලෙස බෙදා හැරිය යුතුයි. එහිදී දුෂ්කර සහ ඌණ සම්පත් සහිත ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. 

ගුරු පුරප්පාඩුවලට විසදුම් ලබා දෙනවා වගේම සියලුම පාසල්වලට ඩිජිටල් පහසුකම්, ඉගෙනීමට පහසුකම් සහිත පන්ති කාමර, සනීපාරක්ෂක පහසුකම්, ජලය,  ක්‍රීඩා පිටි, විද්‍යාගාර, නවෝත්පාදන අවකාශයන්, සෞන්දර්යය ඒකක ඇතුලු මේ සියල්ල පාසල්වල සංවර්ධනය කළ යුතුයි.

ඒ සදහා අපට හොඳ සැලැස්මක් තිබෙනවා. ඒ වගේම තක්සේරු කිරීම සහ ඇගයීමත් අතිශයින්ම වැදගත්. අපට අවශ්‍යයි වඩාත් ළමා හිතකාමී ඉගෙනුම් ක්‍රමයක්, ඉගැන්වීමේ ඉගෙනුම් පරිසරයක්. දරුවන්ට ලබා දෙමින් සමාජයට වගකියන පුරවැසියෙක් පාසලෙන් බිහි කරන්න. 

ඒ වෙනුවෙන් අපි මේ මහජන විවාදය, මේ සාකච්ඡාව සිදු කරමින් යන්නේ. මොකද මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ හරිනි අමරසූරියගේ හෝ  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. මේක ශ්‍රී ලංකාවේ ජාතික  අධ්‍යාපනයේ  ප්‍රතිසංස්කරණයක්. අපි හැමෝටම ඒගැන  අදහසක් තිබෙන්න ඕනේ. අපි හැමෝටම ඒකට සම්බන්ධ වෙන්න ඕන. 

මේ සාකච්ඡාව දිගටම අවශ්‍යයි, මොකද අපි මේ ප්‍රතිසංස්කරණය අදියරෙන්  අදියර ඉදිරියට සිදු කරනවා. සියල්ල සූදානම් කරගෙන මේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න හිටියොත්  අපට තවත් අවුරුදු 10ක් වත්  බලා ඉන්න වෙනවා. ඒ නිසා 2026 දී 1 වසරට සහ 6 වස⁣රට මේ ප්‍රතිසංස්කරණය ආරම්භ කරනවා. 

අපි නිරන්තරයෙන් ඔබේ ප්‍රතිපෝෂණය, ඔබේ අදහස් යෝජනා ඇහුම්කන් දෙමින්, නම්‍යශීලි වෙමින් සාධනීය ව සිදුකළ හැකි වෙනස් කම් සිදු කරමින් යනවා. හැබැයි අපිට මේ වෙනුවෙන් දැක්මක් තිබෙනවා.

අපේ රටේ  සියලුම දරුවන්ට  වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීමට සියලු දෙනා එකඟයි. ඒ නිසා ඔබ ප්‍රතිසංස්කරණයේ එක කුළුණක් ගැන පමණක් සිතන්න එපා. මේක සමස්ත අධ්‍යාපන ව්‍යුහය වෙනුවෙන් වූ සම්පූර්ණ පැකේජයක්. 

රේඛීය අමාත්‍යාංශයේ පාසල් , පළාත් පාසල් ලෙස බෙදිලා මේක කරන්න බැහැ. රටේ සියලු දරුවන් අපේ දරුවන්.  ඉතින්, අපට වෙන් වෙලා වැඩ කරන්න  බැහැ. අපි එකට වැඩ කළ යුතුයි. ඉදිරි වසර පහ තුළ අපට එකිනෙකා සමඟ ඉතා සමීප අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇතිව වැඩ කළ යුතු වෙනවා.  දරුවන් වෙනුවෙන්  අපි එකට වැඩ කරමු.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන සංවාදයක් ඇති කරන්න. අපි මේ වනවිට ගුරු සංගම් සමඟ වෘත්තීයවේදීන් සමඟ විශ්වවිදයාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කළා. ඉදිරියටත් සිදු කරනවා.”  

දෙමාපියන් ඇතුලු සමාජයේ සියළු අංශ මේ සමඟ සම්බන්ධ විය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාහලිංගම්  වේදනායගම්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.