වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 155 දෙනකු රුපියල් මිලියන 33.6ක දඩ මුදල් හා වීසා ගාස්තු අය කරගෙන මෙරටින් පිටත් කර හැරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (31) පියවර ගෙන තිබේ.
ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමක් සඳහා මෙරට ඉතිහාසයේ අය කර ගැනුණු විශාලතම මුදල මෙය බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරකට අනුව කොළඹ පවත්වා ගෙන ගිය කාර්යාලයක් වටලා පෙරේදා (30) මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා මෙරටින් පිටව යන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව ඔවුහු ඊයේ (31) මෙරටින් පිටව ගොස් තිබේ.
අන්තර්ජාල අලෙවිකරණ සහ ඔට්ටු ඇල්ලීමේ කටයුතුවල නිරතවන අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ සමාගමක කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා දේශීය සමාගමක් විසින් මේ ගොඩනැඟිල්ල භාවිත කර ඇතැයි දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ අනාවරණ කරගෙන තිබේ.
අත්අඩංගුවට ගැනුණු එම ඉන්දියානුවන් සියලු දෙනා පිරිමි පුද්ගලයන් වන අතර, ඔවුන් වයස අවුරුදු 25ත් 45ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක විමර්ශන මෙහෙයුම් එම්. ජී. වී. කාරියවසම් මහතා දිනමිණට ඊයේ (31) පැවසීය.
එම සියලු ඉන්දියානුවන් නේවාසික වීසා බලපත්‍රයක් සහිතව මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් දේශීය සමාගමෙන් කුලී පදනම මත රැකියාවල නිරතවෙමින් මාසයක සිට වසරක් දක්වා කාලය ඉක්මවා මෙරට රැඳී සිට ඇත.
වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ මෙතරම් විශාල පිරිසකට එක්වර නවාතැන් ගැනීමට ඉඩක් නොමැති බැවින් සහ දැනටමත් නීතිවිරෝධි සංක්‍රමණිකයන් 100කට අධික පිරිසක් එහි රඳවා සිටින බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙස එම පිරිසට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පිටව ගොස් ඇත.
මෙම වැටලීම ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක විමර්ශන මෙහෙයුම් එම්.ජී.වී. කාරියවසම් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් සිදුකර තිබේ.