දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම සිය අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
දසවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් විසිදෙනෙක් සිය පක්ෂයෙන් තේරී පත්වීම කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද දේශපාලනය තුළ කාන්තාවන් බල ගැන්වීමේ ක්රියාදාමයේ ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය එය පක්ෂ භේදයකින් තොරව ඉදිරියට ගෙනයාම මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අරමුණ බව ප්‍රකාශ කලාය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මෙරට දේශපාලනය තුළ එනම් පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම සහ ලාංකීය දේශපාලනය තුළ කාන්තාවන්ට සමාන අවස්ථාවන් සහ සම සහභාගීත්වයක් ලබාදීම සඳහා පොදු අදහස් ලබා ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
අන්තර්ජාලය සහ සයිබර් අවකාශය තුළ කාන්තාව දේශපාලනයේ නියැලීම අවමානයට පත්කිරීම, ලැජ්ජාවට ලක් කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම යන කරුණු හේතුවෙන් කාන්තාව දේශපාලනයේදී ක්‍රියාකාරීව නියැලීම අභියෝගයක් බවට පත්ව ඇති බව සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙහිදී අවධාරණය කළාය. එනිසා කාන්තාවන්ට ක්‍රියාකාරීව දේශපාලනයේ නියැලීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සහ යෝග්‍ය පරිසරයක් නිර්මාණය කිරීම සියළු පක්ෂවල වගකීම බවද ඒ මහත්මිය සඳහන් කළාය.
මෙහිදී බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරී කාන්තාවන් නිසි පරිදි හඳුනා නොගැනීම නිසා කිසිදු දේශපාලන සාක්ෂරතාවක් නොමැති අය මැතිවරණවලදී පක්ෂවල නාම යෝජනා ලැයිස්තු සඳහා ඇතුළත් කිරීම සිදුවන බව අවධාරණය කෙරුණු අතර, මෙහිදී සභාපතිනිය සඳහන් කළේ පක්ෂ දේශපාලනයේ නියැලෙන කාන්තාවන් අදාළ දේශපාලන පක්ෂයේ මතවාදය හැදෑරූ බිම් මට්ටමේ ක්‍රියාකාරී ජනතා ගැටළු හඳුනාගත් අයෙක් විය යුතු බවයි.
පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා කාන්තා නියෝජනය වෙනුවෙන් කෝටාවක් වෙන් කර ගැනීම, දේශපාලනය පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීම රාජ්‍ය වගකීමක් බව, කාන්තාවන් දේශපාලනයට පිවිසීමේදී ගෘහ සුරැකුම් ආර්ථිකය බාධකයක් නොවීමට නම් පාසල් මට්ටමේ සිට ඒ පිළබඳ දැනුවත් කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී අධ්‍යයනය (Gender Sensitive Study) අවශ්‍ය බව, ඒ ඒ මැතිවරණ වලදී නිශ්චිත කොට්ඨාශ කාන්තාවන් සඳහා වෙන් කිරීම වැනි යෝජනා පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
කාන්තාවන් විදේශගත වීමේදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරිණි. එහිදී සංසදයේ සභාපතිවරිය සඳහන් කළේ කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනයන් පිටුදැකීම සඳහා සිය අමාත්‍යාංශය විසින් මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බවයි.වයස අවුරුදු 05ට අඩු දරුවන් ඇති මව්වරු විදෙස්ගතවීම වැලැක්වීම සඳහා 2017වර්ෂයේදී විශාල පරිශ්‍රමයක් දරා ගෙන එන ලද යෝජනාව ක්‍රියාත්මක වූයේ වසර දෙකක් වැනි කෙටි කාලයක් බවත් ඉන්පසු එය නැවතත් දරුවාගේ වයස් සීමාව අවුරුදු 02 දක්වා අඩු කළ බවත් සභාපතිවරිය මෙහිදී සඳහන් කළාය. දැනට විදෙස්ගතව සිටින ලක්ෂ 12ක ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ 08ක්ම නුපුහුණු ශ්‍රමිකයන් හේතුවෙන් ඔවුන්ට සේවා ගිවිසුමක්, නිශ්චිත වැටුප්, ආරක්ෂාව, රක්ෂණ හෝ වෙනත් පහසුකම් නොමැති බවත් ඒ ගැටලු වලට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරිය අවධාරණය කළාය.
පැමිණ සිටි පක්ෂ නායකයන්, ලේකම්වරුන් මෙහිදී අදහස් පළ කළ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ 2026 – 2030 සදහා සිය ක්‍රියාකාරී සැලැස්ම සඳහා යෝජනා එවන ලෙස ලංකාවේ සියළු දේහපාලන පක්ෂවලට දැනුම්දී ඇති බවයි.
මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන්, සියළු දේශපාලන පක්ෂ නියොජනය කරමින් පක්ෂ ලේකම්වරුන්, නියෝජිතයන්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් සහභාගී වූහ.