නාමල් රාජපක්ෂ මාලේ ගියේ රජ මඟුලකට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගිය හේතුව අනාවරණය වී තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට අධිකරණයෙන් වරෙන්තු නිකුත්ව තිබියදීත් මන්ත්‍රිවරයා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙන්නේ මංගල උත්සවයකට සහභාගීවීම සඳහායි.

ඒ මාලදිවයිනේ හිටපු උප ජනාධිපති අබ්දුල්ලා ජිහාඩ්ගේ දියණියගේ විවාහ මංගල උත්සවයටයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මාලදිවයිනට ගියේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගමන්ගත් ගුවන්යානයේම වන අතර, ඔවුන් අසුන්ගෙන සිටි ඇත්තේ එකම ව්‍යාපාරික පන්තියේයි.

පැයකට ආසන්න වේලාවක් ගුවන් ගමන සිදුවූ අතර, එහිදී කෙටිවේලාවක් සුහද කතාබහක නිරත වීමටද ඔවුන් සමත්ව තිබෙනවා.

ඊට පසුදින නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පෙ.ව11.00 පමණ යළි කටුනායක ගුවන්තොටුපලින් ශ්‍රි ලංකාවට පැමිණි අතර, ඔහුව ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනිවියයි සැකයක් තිබුණද එසේ සිදුවූයේ නැහැ.

දිවයිනට යළිත් පැමිණි මන්ත්‍රීවරයා ගුවන්තොටුපලේ සිට කෙලින්ම හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ මෝසමක් ඉදිරිපත් කොට ඇප ලබා ගැනීමට සමත් වුණා.