ශ්‍රී ලංකාව කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා AI සිංගප්පූරුව (AISG) සමග නව හවුල්කාරිත්වයකට එළඹ තිබෙනවා.
ඒ අනුව පසුගිය 28 වැනිදා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ කෙන්ට් රිජ් පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර තිබුණා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙනුවෙන් සිංගප්පූරු AI නවෝත්පාදන අධ්‍යක්ෂ ලෝරන්ස් ලීව් සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක යන අය විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
AI පාලනයේ ගෝලීය හොඳම භාවිතයන් සමග පෙළගැසෙන අතරම, උපදේශන සහාය, දැනුම හුවමාරුව සහ ධාරිතා වර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ AI හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම ගිවිසුමේ අරමුණයි.
කලාපයේ ප්‍රමුඛ ජාතික AI වැඩසටහනක් වන සිංගප්පූරුවේ AI සමග හවුල්කාරිත්වය ඇති වන්නේ ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රය වේගවත් කරන අතරතුරයි.
මෙම සහයෝගීතාවය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරයට ද සමපාත වෙනවා.
AI සිංගප්පූරුව තම විශේෂඥතාව බෙදා ගැනීමට සතුටු වන බවත්, ගිවිසුම මගින් AI හි පරිවර්තනීය බලය සහ සහයෝගී නවෝත්පාදනයේ වටිනාකම පිළිබඳ සිංගප්පූරුවේ විශ්වාසය පිළිබිඹු වන බවත්, අධ්‍යක්ෂ ලෝරන්ස් ලීව් පැවසුවා.
ශ්‍රී ලංකාව සියලු දෙනා ඇතුළත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ උත්සාහයේ කාලෝචිත පියවරක් ලෙස මෙම හවුල්කාරිත්වය විස්තර කරමින් මහ කොමසාරිස්වරයා, AI සිංගප්පූරුව සහ සිංගප්පූරුවේ ජාතික පර්යේෂණ පදනමට දැක්වූ සහයෝගයට ස්තූති කර තිබෙනවා.
අත්සන් කිරීමේ උත්සවයට සිංගප්පූරුවේ AI නියෝජ්‍ය විධායක සභාපති මහාචාර්ය මොහාන් කන්කන්හල්ලි, AIAP-X ප්‍රධානී ජේම්ස් කොක් සහ අමාත්‍ය සහ මහ කොමසාරිස් කාර්යාලයේ චාන්සරි ප්‍රධානී අහමඩ් රාසි ඇතුළු පිරිසක් සහභාගී වූවා.