නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරිවරුන් සිවුදෙනකුට සහ පොලිස් අධිකාරිවරයකු වර්ගීකරණය කර ඔවුන්ට හිමි විය යුතු උසස් වීම් නොදීමෙන් ජාතික පොලිස් කොමිසම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
2006 වසරේ මාර්තු 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එම නිලධාරීන් නිත්‍ය පොලිස් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සැලකිය යුතු බවට ද නියම කෙරිණි.
එලෙස වර්ගීකරණය කළ පොලිස් නිලධාරීන් පස් දෙනාට හිමි විය යුතු ජ්‍යෙෂ්ඨත්වය සහ වෘත්තීය නිපුණත්වය නිසි ලෙස දී ඔවුන් සාමාන්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ද මෙහිදී නියම කෙරිණි.
එම නිලධාරීන් වර්ගීකරණය කරමින් නිකුත් කළ ලිපි අධිකරණය විසින් බල රහිත කරන ලදි.
ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවලට අදාළව සුදුසුකම් සපුරා තිබියදී හිමි විය යුතු උසස් වීම් නොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා පොලිස් සහායක සේවා අංශයේ සේවය නියුතු පොලිස් නිලධාරීන් සහකාර පොලිස් අධිකාරීවරුන් සිව්දෙනාත් පොලිස් අධිකාරීවරයාත් ඉදිරිපත් කළ මූලික අයිත්වාසිකම් පෙත්සම් පහක තීන්දුව ඉකුත්දා (25) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එච්.එම්.ඩී. නවාස් මහතා ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කළේය.
සහකාර පොලිස් අධිකාරීවරුන් වන කේ.ටී.ටී. දේවප්‍රිය අබේවර්ධන, එස්.බී.පී.එම්.පී.ජී.වයි. බණ්ඩාර තාරක සෙනෙවිරත්න, පී.එම්.කේ.පී. ගුණවර්ධන හා පොලිස් අධිකාරී කේ.බී. සේනාරත්න යන අය මෙම පෙත්සම් ගොනුකර තිබිණි.
පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
පොලිස් සංචිත සේවය අහෝසි කරමින්, පෙත්සම්කරුවන් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරීමට කැබිනට් තීරණයක් ගත් බව නඩු තීන්දුවෙහි සඳහන් වේ.
එහෙත් එම තීරණය ක්‍රියාත්මක නොවූ අතර චක්‍රලේඛයක් මත පදනම්ව විශේෂ සහ තාක්ෂණික කාර්ය මණ්ඩලවලට සේවකයන් ලෙස ඔවුන් නැවත වර්ගීකරණය කරමින් ලිපි නිකුත් කර ඇත.
මෙම වර්ගීකරණය හේතුවෙන් පෙත්සම්කරුවන්ට හිමි විය යුතු උසස් වීම් නොදීම සහ සහායක සේවා ලෙස ඔවුන් වර්ගීකරණය කර පත්වීම් ලිපි නිකුත් කිරීම මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.