පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඇති විය හැකි විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු පවසන්නේ උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග චර්ම රෝගවල වර්ධනයක් ද සිදුවිය හැකි බවය.

මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා වැඩිපුර ජලය පානය කිරීමට මෙන්ම දියර සහිත ආහාර ලබාගැනීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

මේ අතර අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය “අවධානය යොමුකළ යුතු“ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුර, උතුරු – මැද සහ නැගෙනහිර පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් උණුසුම් තත්ත්වය “අවධානය යොමුකළ යුතු“ මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.