කන්න රැස්වීමේදී තීරණය කළ දිනට පෙර අස්වැන්න නෙළුවහොත් රුපියල් දස දහසක දඩයක් අය කිරීමට ගොවි සංවිධානයක් තීරණය කිරීම නිසා අසීරුතාවට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.
මෙම ගැටළුවට මුහුණ දී ඇත්තේ පුත්තලම – මහ කුඹුක්කඩවල – පාඩියාමඩුව ජලාශයේ ජලයෙන් වී වගා කළ ගොවීන් පිරිසක්.
අදාළ ජලාශයෙන් ජලය ගෙන යල කන්නයේ අක්කර 300කට පමණ ආසන්න කුඹුරු ප්‍රමාණයක් වගා කර තිබෙනවා.
අසීරුතාවයට පත්ව සිටින ගොවීන් පෙන්වා දෙන්නේ පසුගිය අප්‍රේල් 15 වනදාට පෙර වගා කර අවසන් කළ යුතු බවටත්, ලබන මස 05 වනදාට පසු අස්වැන්න නෙළිය යුතු බවටත්, කන්න රැස්වීමේදී එකඟතාවයට පැමිණි බවයි.
එය කඩ කළහොත් රුපියල් 10,000ක දඩයක් සහ මීළඟ කන්නයේ පොහොර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.
එහෙත් ගොවීන් පවසන්නේ අදාළ දිනට පෙර ගොයම පැසී ඇති බැවින් අස්වනු නෙළීමට තමන්ට සිදුව ඇති බවයි. එසේ නොකළහොත් වන අලි විසින් ගොයම විනාශ කරනු ඇති බව ගොවීන් සඳහන් කළා.