ගත වූ මාස 06 තුළ අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

මේ වසරේ ගත වූ පළමු මාස 06 තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

මේ වසරේ ජනවාරි 01 සිට ජුනි 30 දක්වා කාලය තුළ තම කොමිසමට පැමිණිලි 3,022ක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළා.

එම කාලය තුළ වැටලීම් 54ක් සිදු කර ඇති අතර, ඉන් සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 10 දෙනෙක්, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් 05 දෙනෙක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු ද වන බවයි සඳහන් වන්නේ.

මේ වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ අධිකරණවල සැකකරුවන් 60 දෙනෙකුට එරෙහිව නඩු 50ක් ගොනු කර ඇති බවද, ඊට අමතරව අදාළ කාලය තුළ නඩු 06 ක් අවසන් වී ඇති බවද, දිවයින පුරා අධිකරණවල අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධ නඩු 273 ක් විභාග වෙමින් පවතින බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.