ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට දින 11ක් තිස්සේ සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන මහත්මිය නීතිඥවරියකගේ මාර්ගයෙන් ඊයේ (30) උදෑසන පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට භාර වීමෙන් පසු පැය 09ක් පුරාවට කෙරුණු දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව අධිකරණ කටයුතු සඳහා මතුගම පොලීසියට භාර දී තිබේ.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් මෙම ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර තිබුණේ මීට මාස හතරකට පෙර වැඩබලන පොලිස්පතිවරයාට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව බව සඳහන්ය.
එම රථය මතුගම නගරය හරහා ධාවනය කරමින් තිබියදී ඉකුත් ජූලි 19 වැනිදා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් එය පදවාගෙන යමින් සිටි සැකකරු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන යන අය අත්අඩංගුවට ගැනිණි. එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත භාරයේ සිට මේ වන විට ඇප මත මුදාහැර ඇත.
අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, එය නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.
අදාළ විමර්ශනවලට අනුව ජගත් විතානගේ මහතාට අයත් පෞද්ගලික සමාගමක් නමින් දෙවන වරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය භාවිත කර ඇත්තේ ඔහුගේ පුත්‍රයා බවට හෙළිවිණි.
සැකකාර රසික විතානගේ යන අයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාළ ජීප් රථය මිල දී ගත් බවයි. මේ සිද්ධියට අදාළ විමර්ශන සඳහා මෙම සැකකාරිය අවශ්‍ය වූ බව පොලීසිය සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වන විට ඇය සිය සැමියා සමඟ ගේ දොර අතහැර පලා ගොස් තිබිණි. පසුව ඇගේ සැමියා මතුගම අධිකරණයට භාර විය. ඔහු මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඒ හෙට (01) දක්වාය.
මෙම ජීප් රථයේ 09 වැනි ලියාපදිංචි අයිතිකරු වූයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන යන අය බවත් ඔහු මෙම රථය මිලට ගෙන ඇති සැකකාරිය රථයේ 08 වැනි අයිතිකරු බවටත් කරුණු හෙළිවූ බව පොලීසිය කියයි. මෙහි 07 වැනි ලියාපදිංචි අයිතිකරු ලෙසට හෙළි වී ඇත්තේ සැකකාරියගේ ස්වාමිපුරුෂයා වූ ධනුෂ්ක ප්‍රියදර්ශන යන අය බව ද පොලීසිය සඳහන් කරයි. සැමියාගෙන් බිරිය මිල දී ගත් ආකාරයට එම ලියාපදිංචිය සිදුව ඇති බවත් එය අසාමාන්‍ය බවත් පොලීසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී හෙළිව ඇති තොරතුරුවලට අනුව මෙම ජීප් රථයේ ලියාපදිංචි ලියැවිලිවල මුල් අයිතිකරු වී ඇත්තේ එංගලන්තයේ රැකියාවක නියුතු ශ්‍රී ලාංකිකයකු බවය. මෙරට සංචාරයකට ඔහු පැමිණි අවස්ථාවේදී එංගලන්තයේ භාවිත කළ බව කියනු ලබන මෙම රථය ගෙන්වාගෙන ඇත්තේ මාස 06කින් නැවත යන විට රැගෙන යන බව රේගුවට දැනුම් දෙමිනි. එම ජීප් රථය සහ ප්‍රශ්නගත ජීප් රථ හාත්පසින්ම වෙනස් ඒවා බව ද අනාවරණය වී තිබේ. එංගලන්තයෙන් රැගෙන ආ ජීප් රථය නැවත ඔහු එරටට යන විට රැගෙන ගොස් නැති බවත් එය මිතුරකුට දී තිබී ඇති බවත් අනාවරණය වී ඇත. පසුව රේගුවේ දැනුම්දීමකට අනුව එම ජීප් රථය රුපියල් ලක්ෂ 21ක රේගු බදු ගෙවා මෙරට ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබේ. එම ජීප් රථය අතින් අත අලෙවි වෙමින් අවසානයට මිල දී ගෙන ඇත්තේ යැයි අනාවරණය වී ඇත්තේ හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණාය. සැබෑ ජීප් රථයේ චැසි සහ එන්ජින් අංක මෙන්ම ලියාපදිංචි අංකයෙන් ප්‍රශ්නගත ජීප් රථය එළියට එන්නේ ඒත් සමඟ බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සිටින්නේ සූදානමිනි. මේ වන විට එම බළකාය විමර්ශනයක නිරතව සිටින්නේ මෙරටට එංගලන්තයෙන් රැගෙන ආ සැබෑ ජීප් රථය සොයා ගැනීමටය. එම ජීප් රථය කොටස් කර අලෙවි කර තිබේද? නැතිනම් වෙනත් වාහනයක අංකයකින් එය ධාවනය වෙමින් තිබෙන්නේද? යන්න ගැන මේ වන විටත් විමර්ශනයේ පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය අද (31) මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය කියයි.