ලලිත් – කූගන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සාක්ෂි ලබාදීමට සූදානම් – ගෝඨාභය රාජපක්ෂ

අතුරුදන් වූ ලලිත් වීරරාජ් සහ කූගන් මුර්ගානන්දන්ගේ නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතිඥවරු මාර්ගයෙන් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, මෙයට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

2011 වසරේදී අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කූගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ඉදිරිපත් කර තිබෙනවා.