රේගුවේ රඳවා ගත් BYD වාහන ගැටලුව ගැන මුදල් කාරක සභාවේ අවධානයට

මේ වන විට රේගුවේ රඳවාගෙන ඇති BYD වාහන ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස මුදල් කාරක සභාව විසින් රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, මෙම ගැටලුවට චීනය ද සම්බන්ධ බැවින්, මෙය ජාත්‍යන්තර ගැටලුවක් බවයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ.

මෙම වාහනවල මෝටර් ධාරිතාවය පරීක්ෂාවට ලක් කළ යුතු බවත්, ඒ සඳහා සිය නිර්දේශය වන්නේ මොරටුව විශ්ව විද්‍යාලය වන බවත්, එහෙත් BYD වාහන සඳහා බලයලත් බෙදා හරින්නාගේ පාර්ශ්වයෙන් එම පරීක්ෂා කිරීම සඳහා සිංගප්පූරු ආයතනයක් ඇතුළු ආයතන දෙකක් යෝජනා කර ඇති බවයි මෙහිදී මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් රේගු බලධාරීන් සඳහන් කර ඇත්තේ‍.

මීට පෙරද මේ ආකාරයෙන් පොහොර තොගයක් චීනයෙන් ගෙනැවිත්, ශ්‍රී ලංකාව එය භාර නොගැනීම නිසා පසුව සිංගප්පූරුවේ ආයතනයක් හරහා සිදු කළ පරීක්ෂණයේදී එහි කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු වූ බවද, මේ නිසා විශාල මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදුවූ බවද, එවැනි දේ නැවත වතාවක් සිදු නොවිය යුතු බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මෙය ජාත්‍යන්තර ගැටලුවක් බැවින්, ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් හරහා මෙම පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු බව මුදල් කාරක සභාවේ නිර්දේශය වන බවයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.