රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේ වනවිට ඇලෙස්කාව සහ අමෙරිකාවට අයත් හවායි දූපත් වෙත සුනාමි රළ ඇතුළු වී තිබෙනවා.
මේ වනවිට හවායි හි ඔආහු දූපතේ වෙරළ තීරයේ හලයිවාහි ජලමට්ටම අඩි 4කට වඩා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හවායි ප්‍රාන්තය, අලෙස්කාවේ ඇලූටියම් දූපත්වල ඇතැම් කොටස් සහ උතුරු කැලිෆෝනියාවේ කොටසක් මේ වනවිටත් සුනාමි අනතුරු ඇඟවීම් යටතේ පවතින අතර, වඩාත් දැඩි අනතුරු ඇඟවීම එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට නිකුත් කර තිබෙනවා.
සුනාමි රළ මේ වනවිටත් ඇලෙස්කාවට ඇතුළු වී ඇති අතර, හවායි දූපත්වලට ද සුනාමි රළ පැමිණීමට පටන් ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර ගුවාම් සහ උතුරු මරියානා දූපත් සඳහා ක්‍රියාත්මක වූ සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර ඇති බව එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය පවසනවා.
එමෙන්ම පිලිපීනය පුරා වෙරළබඩ ප්‍රජාවන් කිහිපයකට නිකුත් කරන ලද සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර තිබෙනවා.
රටේ වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි රළ පහරක් එල්ල විය හැකි බැවින් වෙරළ තීරයෙන් ඈත්ව සිටින ලෙසත්, රට අභ්‍යන්තරයට ගමන් කරන ලෙසත් පිලිපීනිය මීට පෙර මහජනතාවට අනතුරු අඟවා තිබුණා.
රුසියාවේ, නැගෙනහිර කලාපයේ කම්චැට්කා අර්ධද්වීපයට අද පෙරවරුවේ මෙම ප්‍රබල භූමිකම්පාවක් හටගත්තා.
රික්ටර් මාපාංක 8.8ක ප්‍රබලත්වයෙන් යුත් එය සැලකෙන්නේ මෑත කාලයේ ලොව වාර්තාවූ ප්රබලතම භූ කම්පනයක් ලෙසයි.
භූ කම්පනයත් සමඟ ජපානය සහ හවායි දූපත් වෙතද සුනාමි රළ කඩා වැදීම් වාර්තාවුණා.
2011 වසරේ ජපානයට බලපෑ රික්ටර් මාපාංක 9.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් දශකයකට අධික කාලයකට පසුව ප්‍රබලත්වයෙන් වැඩිම භූ කම්පනය ද මෙයයි