රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද නිදහස් කිරීමට නියෝග

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එයට අදාළ නඩුව අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ දී මෙලෙස නියෝග කර ඇති අතර මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේශණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කළා ය.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කෙරිණි.

පසුව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 14 වැනි දින ඇප කොන්දේසි මත නිදහස් කෙරුණි.