ට්‍රම්ප්, යුරෝපා සංගමයට පැනවූ තීරු බද්ද අඩකින් අඩු කරයි

යුරෝපා සංගමයේ බොහෝ අපනයන සඳහා පැනවෙන බදු සියයට 15 දක්වා අඩු කිරීමට අමෙරිකාව එකඟ වී තිබෙනවා.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිණි උර්සුලා වොන්ඩර් ලේයන් අතර ස්කොට්ලන්තයේදී පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

මින්පෙර අමෙරිකාව විසින් සියයට 30ක තීරුබදු පනවන බවට දැනුම්දුන් අතර, යුරෝපා සංගමයද ඩොලර් බිලියන 109ක ප්‍රතිප්‍රහාරාත්මක තීරුබදු පැනවීමකට සූදානමින් පසුවුණා.

ස්කොට්ලන්තයේ දින 5ක කෙටි සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපතිවරයා යුරෝපා කොමිසමේ සභාපතිණිය හමුවීමෙන් පසුව කියා සිටියේ ‍,අපි ගිවිසුමකට එළඹුණා. එය සැමට හොඳ ගනුදෙනුවක්‍, වනු ඇති බවයි. එමෙන්ම මෙම ගණුදෙනුව යුරෝපා සංගමය සහ අමෙරිකාව තවත් සමීප කරවනු ඇති බවද ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කළා.

මෙම ගිවිසුමට අනුව අමෙරිකාවේ ඇතැම් භාණ්ඩ සඳහා තීරු බදු රහිතව යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 සඳහා අපනයනයට එකග වී තිබෙනවා.

මේ අතර ජනපති ට්‍රම්ප් බ්‍රිතාන්‍ය, ජපානය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය සමඟ තීරුබදු ගිවිසුම් ඇති කර ගෙන ඇති නමුත් ‍දින 90කින් ගණුදෙනු 90ක් යන මොහුගේ ඉලක්කය සපුරා නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.