නවකවදයෙන් සබරගමුව සරසවි සිසුවෙකු මිය යෑම: පංච පුද්ගල කමිටු වාර්තාව උපකුලපතිට භාරදෙයි…

නවකවද සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව, එහි උපකුලපතිවරයාට භාර දී තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේ, එම වාර්තාව ඉදිරි සතියේ පාලක සභාවට භාර දීමට කටයුතු කරන බවයි.

අනතුරුව පාලක සභාව මගින් තාක්ෂණික පීඨ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරනු ඇතැයි, ඔහු සඳහන් කළේ ය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිසුන්ගෙන් ප්‍රකාශ 70ක් පමණ ලබාගෙන ඇතැයි, කමිටු සාමාජිකයෙකු කියා සිටියේ ය.

ඒ අනුව ඔවුන්ගෙන් පැය 150කට වැඩි කාලයක් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

වාචික සහ ලිඛිත සාක්ෂි, වීඩියෝ, ඡායාරූප මෙන්ම සමාජ මාධ්‍ය වීඩියෝ හරහා ද ඊට අදාළ සාක්ෂි රැස්කර ඇත.