නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි

මෙරට 49 වැනි අගවිනිසුරුවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන අද (27) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

අගවිනිසුරු මුදු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධූරය සඳහා ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා.

1989 වසරේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්‍රීති පද්මන් සූරසේන, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කළ අතර, 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් වුණා.

2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් වූ ඔහු, 2018 වසරේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් වූ අතර, 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත්වීමෙන් අනතුරුව මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරනු ලැබුවා.