ඉනියභාරතී ගේ නිවසක් විශේෂ පරික්ෂාවට

මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන, නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ සමීපතම දේශපාලන හිතවතා ලෙස සැලකෙන, හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකු වන කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියභාරතී ගේ නිවසක් විශේෂ පරික්ෂාවට ලක්කර තිබෙනවා.

අම්පාර – කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් නිවසක් මෙන්ම කාර්යාලයක් ද මෙලෙස ඊයේ (26) විශේෂ පරික්ෂාවට ලක්කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඉනියභාරතී සහ ඔහුගේ අනුගාමිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 06 වනදායි.

2005 වසරේ සිට 2008 දක්වා කාලය තුළ නැගෙනහිර පළාතේ සිදුවූ පුද්ගල ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම, අතුරුදන් කිරීම්, ගිනිඅවි පරිහරණය, වදකාගාර පවත්වාගෙන යෑම සහ කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව තිරුක්කෝවිල් සහ සන්දිවේලි ප්‍රදේශවලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

ඉනියභාරතී 2004 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් වූ කරුණාඅම්මාන් පාර්ශවයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ සන්නද්ධ කඳවුරක ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.

මොහු 2012 වර්ෂයේ සිට 2015 දක්වා කාලයේ නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙසත් කටයුතු කළ අයෙක්.