තායිලන්තයෙන් සහ කාම්බෝජයෙන් ට්‍රම්ප්‌ට ප්‍රසාදය

ගැටුම් ආරම්භ වී අදට දින, 4ක් වන තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු සඳහන් කළේ, දෙරටේ නායකයින් සමග පැවැත්වූ දුරකතන සංවාදවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බවයි. දෙරටේ නායකයින් නුදුරු දිනකදී හමුවීමටත් එහිදී එකඟතාවකට පැමිණ තිබේ.

දේශ සීමා අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීම සම්බන්ධයෙන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තායිලන්තය සහ කාම්බෝජය විසින් සිය ප්‍රසාදය පළ කර තිබේ.

එහෙත් දෙපාර්ශවය අතර තවදුරටත් ෂෙල් වෙඩි ප්‍රහාර සිදුවන බව නවතම විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තායිලන්ත සහ කාම්බෝජ දේශ සීමා අර්බුදය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින බැවින්, දෙරටේ නායකයින් අමතා කඩිනම් සටන් විරාමයකට එළඹෙන ලෙස ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළේය.

තායිලන්ත සහ කාම්බෝජ නායකයින් හමු වී සාකච්ඡා පවත්වා කඩිනම් සටන් විරාමයකට එළඹීමට මෙන්ම, දෙපාර්ශවය අතර සාමය ඇති කරගැනීමට ද එකඟතාව පළ කර ඇති බවද සිය “ටෘත්” සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ජනපති ට්‍රම්ප් කියා සිටියේය.

සිය දේශ සීමා අර්බුදය විසඳා ගැනීම සඳහා ජනපති ට්‍රම්ප් දරන ප්‍රයත්නයට දෙරට විසින් ස්තුතිය පළ කර ඇති බව වාර්තා වේ.