කොල්ලකෑම් රැසකට සම්බන්ධ කෝටිපති පුත්‍රයෙකු අත්අඩංගුවට

පානදුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයා සහ තවත් තරුණයකු කාන්තාවන්ගේ අත්බෑග් සහ ජංගම දුරකථන කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන්ගෙන් එක් අයෙක් මෑතකදී ඕස්ට්‍රේලියාවේ සිට නිවාඩුවට පැමිණි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් මිලියන 2.5 ක් පමණ වටිනා ජංගම දුරකථන 20 කට අධික සංඛ්‍යාවක් (ස්මාර්ට්ෆෝන් 15 ක් පමණ ඇතුළුව), ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක්, සම්පූර්ණ මුහුණු ආවරණ හෙල්මට් දෙකක්, අත්බෑග් දෙකක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 10,900 ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

බොකුන්දර ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන්ගේ වාහනය නතර කිරීමට සංඥා කරඇති අතර, එයට අවනත නොවීම හේතුවෙන් ලුහුබැඳ ගොස් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරලැස්ගමුව, මිරිහාන, බොරැල්ල, අතුරුගිරිය, තලංගම, සහ පිළියන්දල වැනි ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැඩ ඇරී නිවසට යන කාන්තාවන් ඉලක්ක කර ගනිමින් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවට පිලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් පාපොච්චාරණය කර ඇත්තේ මුදල් සහ වටිනා දෑ ලබා ගැනීමෙන් පසු සොරකම් කරන ලද අත්බෑග් බෝල්ගොඩ ගඟට සහ දුරස්ථ කැලෑ ප්‍රදේශවලට විසි කළ බවයි.

සොරකම් කරන ලද දුරකථන සමහරක් මොරටුවේ ජංගම දුරකථන අලෙවිසැලකට කොටස් වශයෙන් විකුණා ඇති අතර, කෝටිපති තරුණයාගේ නිවසේ නිදන කාමරයක සඟවා තිබූ ගලවා දැමූ දුරකථන කිහිපයක් ද පොලීසිය විසින් සොයාගැනීමට සමත්ව ඇති අතර, අවුරුදු 25 සහ 26 යන වයස්වල පසුවන සැකකරුවන් කෙසෙල්වත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.