අලි රොෂාන්ගේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 ප්‍රකාශයට පත් කෙරේ

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් ලඟ තබා ගැනීම ඇතුළු චෝදනා මත, සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ඊට අදාල නඩුව අද (25) මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය මැයි 16 වන දින අගවිනිසුරුවරියගේ නියමයෙන් මෙම නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර ඇති බව එහිදී සභාපති විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියා.

මෙම නඩුවේ පූර්වගාමී විනිසුරුවරු ඉදිරියේ කැඳවනු ලැබු සාක්ෂි ඒ ආකාරයෙන්ම පිලිගැනීමට විත්ති පාර්ශවය විරුද්ධත්වයක් දක්වා නොමැති බවත්, නව විනිසුරු මඬුල්ලට මෙම නඩුකරය ගැන අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවත් විනිසුරුවරයා පෙන්වා දුන් අතර, ඒ අනුව නඩු තීන්දුව සැප්තැම්බර් 29 ප්‍රකාශයට පත් කරන බවයි සඳහන් කර ඇත්තේ.