තම පුතෙකුගේ බිරිය සමඟ අනියම් ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකුට පොලු වලින් පහර දී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියෙකු හා පුතුන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කර, විත්තිකරුවන් සිව් දෙනාටම මරණ දඬුවම නියම කිරීමට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත නියෝග කර තිබෙනවා.
ඒ අනුව, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියේ.
පළමු විත්තිකාර පියා සිය පුතුන් දෙදෙනා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ එක්ව, මරණකාර නිමල් ජයතිලක නැමැත්තාට පොලු වලින් පහර දී ඝාතනය කර, පසුව ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් මහමඟ දමා ගොස් ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණය වී තිබෙනවා.
2006 මැයි 14 වන දින හෝ ඊට ආසන්න දිනයක පොළොන්නරුව මහාධිකරණ බල ප්‍රදේශයට අයත් හිඟුරක්ගොඩදී, නිමල් ජයතිලක යන අය ඝාතනය කල බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 496 වන වගන්තිය ප්‍රකාරව විත්තිකරුවන්ට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණු අතර, පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු පිරිසක් නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණා.