මාස 7ට ව්‍යාපෘති 57කට BOI අනුමැතිය – අ.ඩො.මි 569ක් ලංකාවට එයි

මේ වසරේ ගතවූ කාලය තුළ ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති 57ක් අනුමත කර ඇති බව කර්මාන්ත සහ ව්‍යසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, එම ව්‍යාපෘතිවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 569ක් වන අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 507ක අයෝජන මේ වන විටත් මෙරටට පැමිණ ඇති බවය.

එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 101ක වර්ධනයක් බව ද චතුරංග අබේසිංහ මහතා පවසයි.

මේ අතර ජුනි මාසයේ උද්ධමනය සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මැයි මාසයේ සියයට 0.6ක් වූ උද්ධමනය ජුනි මාසයේ සියයට 0. 3 දක්වා අඩුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මැයි මාසයේ සියයට 5.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ දී සියයට 4.2 දක්වා අඩු වී තිබේ.

මේ අතර අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරනු ලබන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ රජය පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.