විදුලි සේවකයින් අද ලෙඩ වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තිය සමිති පවසනවා.

කොළඹ දී ඊයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28 ක නියෝජිතයින් අද විරෝධතාවක් සිදු කරන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කථානායකවරයා වෙත දැනුම් දුන්නා.

ඒ අනුව ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමටයි.

විදුලිබල සංශෝධන කෙටුම්පත පිළිබද දෙවන වර කියවීමේ විවාදය අනිද්දා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ, බදු ප්‍රතිපත්ති හේතුවෙන් 2023 වසරේ සිට මේ දක්වා විදුලි යාන්ත්‍රික හා සිවිල් ඉංජිනේරුවන් 300කට අධික ප්‍රමාණයක් විදේශගත වී ඇති බවයි