ලංවිම සේවක විරෝධතාවය නිසා මාර්ගය අවහිර වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සාමාජිකයින් ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා.

මෙම විරෝධතාකරුවන් කොළඹ දෙසට ගමන් ගන්නා එක් මංතීරුවක් අවහිර කරමිනුයි විරෝධතාවයේ නිරත වී ඇත්තේ.

ඔවුන් මෙසේ විරෝධතාවයක නිරත වී ඇත්තේ, එම මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළකරමින්.

විදුලි වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ මේ සදහා වෘත්තීය සමිති 28ක නියෝජිතයින් අද එක්වන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කතානායකවරයා වෙත දැනුම් දුන්නා.

ඒ අනුව ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමටයි.

විදුලිබල සංශෝධන කෙටුම්පත පිළිබද දෙවන වර කියවීමේ විවාදය අනිද්දා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සංශෝධන හරහා සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විදුලි සේවකයින් නිසි පරිදි දැනුවත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි විදුලි වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ.