ජනපති අනුර කුමාර දිසානායක පසුගියදා සිදු කළ ජර්මානු සංචාරයෙන් අනතුරුව එරට ප්‍රධාන අංශ පහක ආයෝජකයින් මෙරටට පැමිණීමට අවධානය යොමු කොට ඇතැයි ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී මෙරට බලශක්ති, සැපයුම්, නිෂ්පාදන, සංචාරක සහ ඩිජිටල් පරිවර්තනය වැනි අංශයන්හි ආයෝජන සිදු කිරීමට ජර්මානු ආයෝජකයින්ගේ අවධානය යොමුවී ඇතැයි ඔහු අවධාරණය කර සිටී.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පසුගිය ජර්මනි සංචාරය අතරතුර බර්ලිනයේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩල සංගමයේ (DIHK) ව්‍යාපාරික සංසදය හමුවිය. එහිදී මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබදව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ ජනාධිපතිවරයා මෙරට ආයෝජනයට ද ඔවුන්ට ආරාධනා කළේය.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ සිදු කළ ආයෝජක දැනුවත් කිරීම් තවදුරටත් ඉදිරියට ගෙනයාම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය උපායමාර්ගික පසු විපරම් ආයෝජක හමුවීම් මාලාවක් පවත්වනු ලැබිණි. ඒ අනුව මෙරට ජර්මානු ආයෝජන වර්ධනය කර ගැනීමේ අරමුණු කරගත් සාකච්ඡාවක් ද පැවැත්විය.
මෙරට ආයෝජනය කර ඇති ජර්මානු ආයෝජකයින්, ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය, විදේශ අමාත්‍යාංශය ආදී නියෝජිතයන්ගෙන් සමන්විත මෙම සාකච්ඡාවක් කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පසුගියදා (14) සිදුවිය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් සහ මාර්ගගත ක්‍රමවේදය අනුව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනි වරුණි මුතුකුමාරණ ඇතුළු නිළධාරින් රැසක් මීට සහභාගි වී සිටියහ.