කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් 2025-02-19 දින සහ 2025-07-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය හිමි වී ඇත.
කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළ කර තිබෙන අතර යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ උපරිම මාස 8ක් දක්වා කාලයකට බෝසෝං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙන බව සදහන් කෙරේ.
මෙම ගිවිසුම බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.