සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහි තවත් නඩුවකට අදාළව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා.
ඉන් අනතුරුව, මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේදී ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර, දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදාදීම තුළින්, පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි යන චෝදනා මත ඔවුන් මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටිනවා.
2015 ජනාධිපතිවරණය වෙනුවෙන්, 2014 ඔක්තෝබර් 02 වැනිදා සහ 2014 දෙසැම්බර් 14 වැනිදා අතර කාලසීමාව තුළ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කාර්යාල අතර බෙදාදීම සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 14,000ක් මිලදී ගැනීම හරහා සතොස ආයතනයට අයත් රුපියල් 39,061,290.71 ක මුදල් සාවද්‍ය පරිහරණය හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ මෙම විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම නඩුවට අදාළ සිද්ධමය කරුණු එකක් බව විත්තිය විසින් සඳහන් කළ ද, මෙම නඩුව තුළින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා වෙනස් බවයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් සඳහන් කර සිටියේ.