ධම්මදස්සි නා හිමි ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය ලබන 24 වැනිදා මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිත ය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි අතර අද (21) අලුයම අපවත් වනවිට 67 වන වියේ පසුවිය.

1976 වසරේ මැයි මස 19 වැනිදා පැවිදි දිවියට ඇතුළත් වුණ උනවහන්සේ හුනුපිටිය ගංගාරාම ශ්‍රී ඥානේස්වර පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර 1979 වසරේ මැයි 29 වැනිදා උපසම්පදාව ලැබීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පාලි භාෂාව පිළිබද විශේෂවේදී උපාධිය ඇතුළු උපාධි කිහිපයක් හිමිකරගත් උන්වහන්සේ ඓතිහාසික කුරුණෑගල ඇත්කද රජමහා විහාරාධිපති මෙන්ම භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙකු වශයෙන්ද සේවය කළහ.