දකුණු කොරියාවේ ගංවතුර හේතුවෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු කොරියාවට දින ගණනාවක් තිස්සේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී වින්දිතයින් 12 දෙනෙකු අතුරුදහන්ව සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි බලධාරීන් අනුමාන කරනු ලබන්නේ.

දේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, බදාදා වර්ෂාව ආරම්භ වීමෙන් පසු 10,000කට ආසන්න පිරිසක් තම නිවෙස්වලින් ඉවත් කර ඇති අතර, 41,000කට වැඩි නිවාස සංඛ්‍යාවකට තාවකාලිකව විදුලිය ඇනහිට තිබෙනවා.