පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා රිමාන්ඩ් කිරීමට නියෝග

අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන එළැඹෙන අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහුව අද (20) මතුගම මහේස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

නීතිවිරෝධීව කොටස් ලෙස ගෙන්වා එකලස් කර කූට ලේඛන භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බව කියන Land Cruiser වර්ගයේ ජීප් රථයක් සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් ඔහුව ඊයේ (19) මතුගම, නෑබඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම Land Cruiser වර්ගයේ ජීප් රථය මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන සතුව තිබී ඇති බවත්, පසුව එම රථය 2024 වසරේදී රසික විතාන විසින් ඇයගෙන් මිලදී ගෙන තිබූ බවයි.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියගේ නිවසට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ (19) රාත්‍රියේ ගොස් තිබූ අතර, ඇය එම නිවසේ නොසිටි බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.