දුර දිග ගිය ගැටුමකින් යාපනය රත්වෙයි

වඩුකෝඩෙයි මූලෙයි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර අද (20) ඇතිවූ ගැටුමකින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ටද ගල් ප්‍රහාර එල්ල වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අහසට වෙඩි තැබීමට පවා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළ අන්දමට ඊයේ දින පුද්ගලයින් දෙදෙනෙකු අතර යම්කිසි කරුණක් හේතුවෙන් ආරවුලක් ඇති වී තිබෙනවා.

එහිදී අද දිනයේදී මෙම ගැටලුවට ගම්වාසීන්ද සම්බන්ධ වීමත් සමග එය විශාල ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ගැටුම අතරතුරදී යතුරුපැදියකට ගිනි තබා ඇති අතර, තවත් යතුරුපැදියක් සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි වඩුකෝඩෙයි පොලිසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී, ඔවුන්ට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙහිදී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් කණ්ඩායමකට අයත් පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මූලෙයි ප්‍රදේශය සඳහා පොලිස් ආරක්ෂාව සපයා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.