කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමට පැමිණි දෙදෙනෙකුට පහරදීමක්

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී තිබෙනවා.

පහරදීම හමුවේ ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනා ඝාතනයට රැගෙන ආ T56 වර්ගයේ ගිනි අවිය සහ යතුරු පැදිය ද එම ස්ථානයේ දමා පළා ගොස් තිබුණා.

එලෙස සමාජ ශාලාවේ දමා ගොස් තිබියදී T56 වර්ගයේ ගිනි අවිය, පතොරම් 25 ක් සහ පතොරම් ගැබක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය අදාළ සමාජ ශාලාවේ නිලධාරින් විසින් කොල්ලු‍පිටිය පොලිසිය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලු‍පිටිය පොලිසිය සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.