බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද, නැද්ද යන නියෝගය සැප්තැම්බර් මස 01 වැනිදා ප්‍රකාශයට පත් කරන බවට අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් ‘මිදිගම රුවන්’ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එම පෙත්සම අද (17) සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවා තිබෙනවා.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එහි අභ්‍යන්තර හා බාහිර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවාගෙන තිබෙන බවත් පවසා සිටියා.
බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ යුතු වුවත්, බන්ධනාගාරය තුළ පරීක්ෂා කිරීම්, වැටලීම් ආදී කටයුතු සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනෙන අතර, ඔවුන් අතින් රැඳවියන් දැඩි අමානුෂික සැලකීම්වලට භාජනය වන බවයි එම නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ.
අදාළ බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසයි.
දුරකථන ඇතුළු තහනම් දේ භාවිතා කරමින් බන්ධනාගාර තුළ සිට මෙහෙයවන අපරාධ ක්‍රියා වැළැක්වීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගෙන ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන් අතර, බූස්ස බන්ධනාගාරය තුළ නිදහසේ දුරකථන භාවිතා කරමින්, එය අපරාධ මෙහෙයවන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවට ඔහු චෝදනා කර තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය සහ පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතුරු සහන ඉල්ලීම් පිළිබඳ නියෝග සැප්තැම්බර් මස 01 වැනිදා ප්‍රකාශයට පත්කරන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.