2024දී ලොව පුරා සම්පූර්ණයෙන්ම එන්නත් ලබා නොගත් ළමුන් සංඛ්‍යාව මිලියන 14 ඉක්මවයි

2024 දී ළමුන් මිලියන 14කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් ලබා නොගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

අමෙරිකාව ප්‍රමුඛ ධනවත් රටවල් විසින් ජාත්‍යන්තර ආධාර කපා හැරීම හා එන්නත් පිළිබඳ දුර්මත සීඝ්‍රයෙන් පැතිරයාම නිසා එන්නත්කරණය නොමැතිව ලොව පුරා මිලියන සංඛ්‍යාත ළමුන් අවදානමට ලක්වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගෝලීය එන්නත්කරණය මගින් වාර්ෂිකව මරණ මිලියන 3.5ත් 5ත් අතර සංඛ්‍යාවක් වැළැක්වීමට හැකිවන බවයි.

නමුත් මෙම තත්ත්වය යටතේ 2024 වසරේදී ලොව පුරා ළමුන් මිලියන 14කට කිසිදු එන්නතක් ලබාදීමට නොහැකි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා.

විශේෂත්වය වන්නේ මෙම තත්තවය ආසියාවේ, අප්‍රිකාවේ පමණක් නොව යුරෝපයේත් දක්නට ලැබීමයි.

2024 වසර තුළ යුරෝපයේ කක්කල් කැස්ස රෝගීන් තුන් ගුණයකින් වැඩි වී 300,000කට ආසන්න වූ අතර, සරම්ප රෝගීන් දෙගුණ වී 125,000 ඉක්මවා ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

වසර 25කට පෙර සරම්ප රෝගය මුළුමණින්ම තුරන් කළ අමෙරිකා එක්සත් ජනපදයෙන් ද 2025 වසරේදී සරම්ප රෝගීන් 1,288 දෙනෙකු සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2024 වසරේ ලෝකයේ එන්නත්කරණය නොලැබූ ළමුන්ගෙන් අඩක්ම නයිජීරියාව, ඉන්දියාව, සූඩානය, කොංගෝව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, යේමනය, ඇෆ්ඝනිස්ථානය සහ ඇන්ගෝලාව යන රටවල්වලට අයත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.